කොළඹ ගමන ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් මිලින්ද රාජපක්ෂ කළ කතාව

අපි හැමෝම කොළඹ නගරයට ආවෙ ‘සිහින’ හොයාගෙන. අලුත් පාසල් ජිවිතයක්, අලුත් කැම්පස් ලයිෆ් එකක්, හොද රස්සාවක්, ටවුමෙන් ගෙයක්, රටේ හොදම තැන බිස්නස් එකක්, දරුවො වෙනුවෙන් හොදම තැනක්, දියුණු වෙන්න ඕන නම් ඉන්න තැනක්, කියන්න පුළුවන් – කියන්න බැරි හැම හීනයක්ම අරන් සිය දහස් ගණනක් මිනිස්සු, පරම්පරා ගානක් තිස්සේ ආපු, හෙටත් එන්න නියමිත නගරය තමා, කොළඹ.

කොළඹ සුවිසල් වෙන්නේ උස බිල්ඩින් නිසා, සුඛෝපභෝගී වාහන නිසා, ලොකු පාරවල් නිසා, තරු හෝටල් නිසා, ලස්සන සාප්පු නිසා විතරක් නෙමෙයි. කොළඹ සුවිසල් වෙන්නේ මුළු මහත් රටක මිනිස්සුන්ගේ සිහින දරාගෙන සිටින නිසයි. කොළඹ සිංගප්පුරුව තරම් පිරිසිදු නොවන්නත් ලන්ඩන් තරම් ලස්සන නොවන්නත් පුළුවන්. නමුත් කොළඹ ඉන්න නාට්ටාමිලාගේ ඉදන්, MC එකේ රස්තියාදු ගහන කොල්ලෝ හරහා හැව්ලොක් එකේ ජිවත්වන නෝනා මහත්වරු දක්වා වූ සියලු දෙනාම මේ කොළඹ, කොළඹටම ආවේණික සංස්කෘතියක් හදලා තියෙනවා. සුද්දෝ හදපු බිල්ඩින් වල ඉදන් ගෝටා නවීකරණය කළ පාක් හරහා වනාතමුල්ල වත්ත දක්වා කොළඹටම ආවේණික හැඩයක් තියෙනවා. කොළඹ ලස්සනයි.

2009 ට කලින් රටක් විදියටම අපි සිහින දකින්න බය වෙලයි හිටියෙ. මේ ලංකාවේ වාසනාවන්තම තරුණ පරම්පරාව බවට අපිව පත්කරමින් මහින්ද රාජපක්ෂ 2009 දී 30 අවුරුද්දක් තිස්සේ ඇදෙමින් තිබුන යුද්ධය ඉවරකලා. කොල්ලො මැරෙන එක නැවතුනා. අම්මලා බය නැතුව අපිව බස් එකේ කෝච්චියේ කොළඹ එව්වා. පාරවල් හැදුණා. අලුත් බිල්ඩින් ආවා. ගමේ හිටපු කොල්ලන්ට කෙල්ලන්ට රස්සා හම්බවුනා. ණයක් අරන් හරි තමන්ගෙම කියල ගෙයක් දොරක් හදාගන්න පුළුවන් වුනා. පිටරට ඉගෙන ගන්න ගිහින් හිටපු යාළුවො ආයෙත් ලංකාවට ආව. රට හදුනා. අපිත් හැදුනා. කොළඹ තමා ඒ පෙරළියේ, සශ්‍රීකත්වයේ සහ නව්‍යත්වයේ සංකේතය. කොළබ තමා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවේ විද්‍යමාන ප්‍රකාශනය. කොළඹ සිහින සැබෑ කරවන නගරයක් බවට පත්වෙමින් තිබුනා. කොළඹ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය බව මුළු ලොවම පිළිගත්තා.

ජනවාරි 8 උදෙන්ම චන්ද පොළට ගියේ කොළඹ අය. ඒකට එයාලට වැරැද්දක් කියන්න බෑ. ඊට පස්සෙ අපි හැමෝගෙම ඇස් පනාපිට කුණු කදු වලට යටවෙලා මිනිස්සු මැරුණා. යුද්දෙකින් වගේ ඩෙංගු වලින් ළමයි මැරුණා. කානු උතුරලා කොළඹ හුස්ම දුගද වුනා. පොඩි වැස්සටත් කොළඹ යටවුනා. ඩිස්පෙන්සරි, ප්‍රජාශාලා වැහිලා ක්‍රීඩා භුමි වල් වැදුනා. කුඩු රජවෙලා පාතාලයේ කෙළිබිමක් වුනා. සුදු කාරයෝ නගරය පාලනය කරනකොට අහිංසක මිනිස්සුන්ගේ සිහින ගැන කවර කතාද? කොළඹ ආයෙත් අක්‍රමිකවත්, දුෂිත, දුගද හමන මඩ ගොහොරුවක් බවට පත්වෙන්න පටන් ගත්තා.

අවුරුදු 60ක් කොළඹ පාලනය කලේ යු එන් පිය. රටේම මිනිස්සු කොළඹ ගැන එක සිහිනයක් දකිද්දී එයාලගෙ හීනය වුනේ කොමිස්, කොන්ත්‍රාත්, පගා, මැරකම්, හොරකම්, ගැතිකම් සහ සුදුව. කොළඹ මිනිස්සුන්ගෙ බදු සල්ලි සුදු පොළට ගියා මිසක් නගරය රැක ගන්න මහන්සිවෙන, නගරයේ ජීවත්වෙන, නගරය මත යැපෙන, නගරයට දියුණුව අරන් එන මිනිස්සුන්ගේ සුභ සිද්ධියට යෙදවුනේ නෑ. පහුගිය අවුරුදු 60 තිස්සේ කොළඹ සාරය සුරාකාපු යු එන් පිය දැන් අපිට කියනවා ‘කොළඹ බලගතු නගරයක් කරමු’ කියල. කොළඹ කෙසේවෙතත් හවුලේ මහ බැංකුව හොරාකාපු අම්මණ්ඩිල, විහාරමහාදේවි පාක් එකයි නිදහස් චතුරශ්‍රයයි එක රැයට පිටරටකට විකුනලා දායි. රට බෙදල, විකුණල, හොරාකාපු මේ නෝනලා දැන් කොළඹ ඉල්ලනවා.

කොළඹ කියන්නෙ සුදු පොළක් නෙමෙයි. කොළඹ කියන්නේ මුළු රටේම සිහින නගරය. ඒ මිනිස්සුන්ගෙ හීන මේ බැංකු හොරු ළග උගසට තියන්න ඉඩ දෙන්න බෑ. අපි ඉල්ලන්නේ එක දෙයයි. රටේම සිහිනය, සාමය උදාකර දුන් ජන නායකයාගේ කණ්ඩායමට කොළඹ බාර දෙන්න. ආසියාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම වේගයෙන්ම දියුණුවන නගරය බවට පත්කරන්න පුළුවන් වැඩසටහනක් අපි අද ඉදිරිපත් කරනවා. අපේ මේ ගමන ඔබ දිනවන්නයි. ඔබේ සිහින යතාර්ථයක් බවට පත්කරන්නයි. රටේම සිහින රැක දුන් නායකයෙක් අපේ පිටිපස්සෙ ඉන්නවා.

පෙබරවාරි 10 වෙනිදා උදෙත් කලින්ම චන්ද පොළට යන්නේ කොළඹ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන් මේ නෙළුම් කුළුණ යට අපි පොහොට්ටුවේ කොළඹ මහනගර සභාව හදනවා. කොළඹයි රටයි දෙකම ආයෙත් දිනනවා. මහින්ද රාජපක්ෂ ආයෙත් මේ රටේ නායකයා වෙන්නේ පොහොට්ටුවේ කොළඹ මහනගර සභාවක. ඒ විජයග්‍රහණයේ පාර්ශ්වකරුවන් වන ඔබ සැමට සුභ අනාගතයක්.

– මිලින්ද රාජපක්ෂ