දැන් ශ්‍රී ලංකික ඔබට වීසා නැතිව රටවල් 38කට යන්න පුලුවන්..

පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයෙන් පූර්ව වීසා අනුමැතියකින් තොරව රටවල් 38ක් වෙත ඇතුළු වීමට අවස්ථාව හිමිව ඇති බව කියයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් හා ස්වාධීන බල ප්‍රදේශ 6ක් ලෙස ගැනෙන තායිවානය, මකාඕ, හොංකොං, කොසෝවෝ, පලස්තීනය හා වතිකානුව පාදක කරගනිමින් සකස් කෙරෙන පාස්පෝට් ඉන්ඩෙක්ස් 2018 නවතම වාර්තාවෙන් මෙම කරුණු අනාවරණය වෙයි.

ලොව එක් එක් රටවල ගමන් බලපත්‍රවල බලවත්බව මෙහිදී මැන බැලෙන අතර, පූර්ව වීසා අනුමැතියකින් තොරව යා හැකි රටවල් ගණන ඒ අනුව තීරණය කරනු ලබයි.

මෙම වාර්තාවේ මෙවරත් පළමු තැනට පැමිණීමට ජර්මනිය සමත්ව ඇති අතර, ජර්මානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකුට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 161ක් වෙත ඇතුළු වීමට අවසර හිමිවෙයි.

මෙහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 88 වැනි ස්ථානය වන අතර, ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් රටවල් 38ක් වෙත එසේ පූර්ව වීසා අනුමැතියකින් තොරව ඇතුළු විය හැකිය.

එම රටවල් නම්,

බහමාස්, බාබඩෝස්, බොලීවියා, කාම්බෝජය, කේප් වෙර්ඩේ, කොමොරෝස්, අයිවරි කෝස්ට්, ජිබවුටි, ඩොමිනිකා, ඉක්වදෝර්, ගැම්බියා, ග්‍රෙනඩා, ගිනියා-බිසාවු, හයිටි, ඉන්දියා, ඉන්දුනීසියා, කෙන්යා, ලෙසතෝ, මැඩගස්කර්, මාලදිවයින, මුරුටානියා, මුරුසිය, මයික්‍රොනීසියා, මොසැම්බික්, නේපාලය, පලාවු, රුවන්ඩා, සෙන්ට් කිට්ස් ඇන්ඩ් නෙවිස්, සමෝආ, සෙනගල්, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩීන්ස්, ටිමෝර්-ලෙස්ටේ, ටෝගෝ, ටුවාලු, උගන්ඩා සහ වනවාටු යන රාජ්‍යයන්ය.