එජාප – ශ්‍රීලනිප මැතිවරණ ව්‍යාපාරයේ කූඨ සැලසුම සහ මුදල් විසිකරන ආකාරය හෙළිවේ..

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදි එජාපය හා ශ්‍රිලනිපය එක්ව දියත් කරන්නට නියමිත කූඨ මැතිවරණ ව්‍යාපාරයේ සැලසුම Leaks LK වෙත මේ වනවිටත් හෙළිදරව් වී ඇත.

අති විශාල මුදල් කන්දරාවක් වැය කිරීමට නියමිත මෙම ප්‍රචාරණ ජාලය සෑම අපේක්ෂකයෙකුටම මුදල් ලබාදෙමින් අපේක්ෂක මට්ටමින්, පළාත් පාලන ආයතන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් දියත් කිරීමට සැලසුම් සකස් වී ඇත. රවී කරුණානායක හරහා බිම් මට්ටමේ සැලැස්මත්, මලික් සමරවික්‍රම හරහා ජාතික මට්ටමේ ක්‍රියාවලියත් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා පක්ෂ දෙක වියදම් කිරීමට සූදානම් මුළු මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන තුන්සියයකි. එනම් රුපියල් කෝටි හාරදාහස් පන්සියයකටත් අධික මුදලකි. සෑම අපේක්ෂකයෙකුටම රුපියල් ලක්ෂ පහලොවක් මුදලින් ලබා දීමට අමතරව ද්‍රව්‍යමය ආධාර මෙන්ම සීඩී පට වාහන ආදී සියළු පහසුකම් ජනවාරි පස් වනදා සිට ලබා දීමට තීරණය කර ඇත.

මේ සඳහා අවශ්‍ය මුදල් ගනුදෙනු නෝර්වේ රාජ්‍යය හරහා කිරීමට මේ වනවිට සියළු කටයුතු සූදානම්ව ඇති අතර එජාපය හා ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු එළැඹෙන සතියේදී, තම පෞද්ගලික සංචාරයක් මුවාවෙන් යුරෝපයේදී මෙම ගණුදෙනු අවසන් කරන්නට සැලසුම් කර ඇත.

ඒ වගේම මැතිවරණයට පෙර සති දෙකේදී එජාප ඇමති ධූර තුනක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත පවරාගැනීම තුල එජාප විරෝධී ඡන්ද ශ්‍රීලනිප පාර්ශ්වයට නැඹුරු කර ගැනීමට බලාපොරොත්තු වේ.

දුමින්ද දිසානායක හා රවී කරුණානායකට හිතවත් ප්‍රචාරක දැන්වීම් ආයතනයකට සයිබර් මෙහෙයුම් භාර දී ඇති අතර ඔවුන්ගේ හිතවතුන් පොහොට්ටුවේ සයිබර් මැතිවරණ ක්‍රියාදාමය තුලට රිංගවීමට දැනටමත් සැලසුම් නිර්මාණය කර ඇත.

තවද අවසන් සතියේදී, ශ්‍රීලනිප පෝස්ටර් තුල තවමත් ශ්‍රීලනිපය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූර ඇතුලත් කර ජනතාව නොමඟ යවා පොහොට්ටුවේ ඡන්ද කොල්ල කෑමක නිරත වන්නටද සැලසුම් කර තිබේ.

ඒ වගේම පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය පොලීසිය ලවා දැවැන්ත මර්ධනයක් කිරීමටද මේ වනවිට සැලසුම් දියත් කර ඇත.

මේ සියල්ල තුලිනුත් පොහොට්ටුවේ ඡන්ද පදනම අඩපණ කිරීමට නොහැකි වුවහොත්, අවසන් සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහෝසි කරන බවට රාවයක් යවමින් මහජන හිත් තුල බලාපොරොත්තු කඩ කිරීමේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටද එජාපය හා ශ්‍රීලනිප මැතිවරණ මෙහෙයුම් කමිටු තීරණය කර තිබේ.

කෙසේ වුවත් මෙම පුවත සතියෙන් සතිය අපට ලැබෙන තොරතුරු වලින් යාවත්කාලීන කර ඔබ හමුවට ගෙන ඒමට අපි කටයුතු කරන්නෙමු.

උපුටාගැනීම – www.leakslk.com