ඡන්දය ලබාදීමට පෙර අනිවාර්‍යයෙන් කියවන්න..

“දිනූ දේශය අනතුරේ”, “මහින්ද සුළඟ”, “පොහොට්ටුව”, ” බැසිල් රාජපක්ෂ”, “බයිසිකල් රේස්” සහ “ඉදිරි පළාත් පාලන මැතිවරණය”

මාතෘකාව ටිකක් පැටළිලි සහගත බවද මම පිළිගනිමි.. වෙනස් වචනය යටින් ඉරක් අදින්නට යැයි කිවහොත් “බයිසිකල් රේස්” යන්න යටින් ඉරක් ඔබ අඳින බව මට ඉතා විශ්වාස බව කිව යුතුය. නමුත් ඔය වචන කිහිපය තුල වඩාත්ම දරුණු සහ වැදගත්ම වචනය වන්නේ, “බයිසිකල් රේස්” නම් වචනයයි.

2015 පෙබරවාරි 18 විශේෂ දිනයකි. ඒ “දිනූ දේශය අනතුරේ” නමින් දේශ හිතෛශී ජනතාවගේ ස්වේච්ඡා සහභාගීත්වයෙන් විමල්, උදය, දිනේශ්, වාසුගේ නායකත්වයෙන් නුගේගොඩ දී පැවති දැඩි දේශමාමක ජනතා රැස්වීම, ශ්‍රී ලාංකික දේශපාලන ගමන උඩු යටිකුරු කරණු ලැබිණ. සියළු දේශපාලන අනාවැකි, බලාපොරොත්තු සේම ඉච්ඡාභංගත්වයන්ද වෙනස් කරනු ලැබිණ. නැවුම්, බලාපොරොත්තු සහගත, දේශපාලන ආරම්භයක් පිළිබඳ සැබෑ වාමංශික දේශහිතෛශී බලවේගයක් ඇරඹිණ. 2015 මහ මැතිවරණය ඇරඹෙත්ම මෙම බලවේගය “මහින්ද සුළඟ” ලෙස වෙනස් විය. සැබෑ ජනතා මතය සමඟ සිටි, අල්ලසට, වරදාන වලට යට නොවූ ජනතා නියෝජිතයෝ එකිනෙකා මෙම බලවේගය ශක්තිමත් කලෝය.. අමාරුවෙන් උප්පරවැට්ටි යොදා “ලංකා ඉතිහාසයේ දැවැන්ත රැවටීමට ලක්ෂ හැට දෙකක් එක වර රැවටූ චේතිය බොරුකාරයින්ගේ මහා මංගල්‍යය” මධු සමයටත් කලින් ඉවර වේදෝ සැකයෙන් කුමන්ත්‍රණ දියත් කෙරිණ. 2015 අගෝස්තු 17 දින සැබෑ ජනතා බලවේගයක්, සැලසුම් සහගත කුමන්ත්‍රණ වලින් යලිදු පරාජය විය. එසේ පරාජය වූවත්, වරදාන වරප්‍රසාද වලට යට නොවෙමින් සැබෑ ජනතා නියෝජිතයින්ගේ කැප කිරීම මත, එම බලවේගය නන්නත්තාර කර දමන්නට නොහැකිව, ලාංකීය ඉතිහාසයේ ශක්තිමත්, පෙරළිකාර, දඩබ්බරම සහා ආදරණීය විපක්ෂය වූ ඒකාබද්ධ විපක්ෂය බිහිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මේ එම බලවේගයේ තුන්වන පියවරයි… දියෙන් පිරී නිසොල්මන්ව තිබූ පොදුජන පෙරමුණ විලේ නෙළුම් මල් කැකුල මතුවිනි. මාතෘකාවේ හතරවෙනි වචනය වන බැසිල් රාජපක්ෂ ප්‍රභලව කරලියට පිවිසෙන්නේ මෙතැන් සිටය. නෙළුම් මල් “පොහොට්ටුව” ගම් නියම් ගම් සිසාරා පිබිදෙන්නට පටන් ගන්නේ මෙතැන් සිටයි.. ඉතිහාසයේ දැවැන්තම මැයි දින රැළිය වෙනුවෙන්, ගාළු මුවදොර පිටිය පමණක් නොව ඒ සබැඳි තීරු හයක මහා මාර්ගය අතුරු සිදුරු නැතිව පිරීයන්නේ කඩවත, වත්තල, හෝමාගම, රත්මලාන පෙදෙවලින් සමහර බස් රථ කොළඹට ඇතුල්වීමට නොහැකිව හැරවීයද්දීත් බව අමතක කිරිමට කිසිවෙකුටත් නොහැක. ග්‍රාමීය මට්ටමේ ශාඛා සමිති, ආසන මට්ටමේ බල මණ්ඩල, දිස්ත්‍රික් සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තිකයින්ගේ සංවිධාන පොහොට්ටුව වටා ශක්තිමත්ව වැඩිණි. බැසිල් රාජපක්ෂ තමන්ට ගැලපෙනම ස්ථානයේ සිට, එනම් තිරයෙන් පිටුපස සිට සියල්ල වෙනුවෙන් දිරි දුන්නේය. ආරම්භක සටන් කරුවන් වූ විමල්, උදය, දිනේශ්, වාසු සේම ඩලස්, මහින්දානන්ද, වෙල්ගම, රෝහිත, ජොන්ස්ටන් වැනි දැවැන්ත ජන පදනමක් සහිත ජ්‍යෙශ්ඨයින් සේම කනක, රොශාන්, ශෙහාන්, නාමල්, චානක, කන්චන වැනි තරුණ නායකයෝද පවිත්‍රා, ගීතා වැනි දැවැන්ත කාන්තා චරිතද, හිරේ විලංගුවේ වැටෙමින්, නොවිඳිනා දේශපාලන පළිගැනීම් විඳ දරාගනිමින්, අති දැවැන්ත ශක්තිමත් අත්වැලක් මේ සඳහා සැපයූවේ මහින්ද රාජපක්ෂයන්ගේ නොසැලෙන, නොනැමෙන, නොනැසෙන නායකත්වයේ ආශිර්වාදයෙනි…

බයිසිකල් රේස් එක මගේ මතකයට එන්නේ මේ සියල්ල ඔස්සේය. පළමු පොකුර මහන්සි වන විට, දෙවෙනි පොකුර තරඟය අතට ගැනීම පාපැදි තරඟයේ ජයග්‍රහණය අතට ගනී. දෙවෙනි පොකුරේ සාර්ථකම පා පැදි කරුවාට ඉදිරියට යන්නට ඉඩ හරින්නේ තාක්ෂණික ශිල්පයක් ලෙසිණි. පළමු පොකුරද දෙවෙනි පොකුර එන බව දැනුනද කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා උරදෙති. විමල්ලා පළමු පොකුර පදිද්දී, බැසිල් දෙවෙනි පොකුර මෙහෙයවූයේ එළෙසිනි.

පොහොට්ටුවේ පාපැදි කණ්ඩායමේ පළමු කඩයිම මෙවර පළාත් පාලන ඡන්දය ලෙස ඉදිරියට පැමිණේ.. තරඟය සූදානම්‍ ය. හොඳම බයිසිකල් සහිතව ජව සම්පන්නම කණ්ඩායම පොහොට්ටුව ලාංඡනයෙන් තරඟ වදිති. පළමු පොකුරේ පොහොට්ටු සාමාජිකයෝ මෙන්ම දෙවෙනි පොකුරේ පොහොට්ටු සාමාජිකයෝ එකට පැදිය යුතු කාලය එළැඹ තිබේ…

බාධක, කකුල් මාට්ටු, වෙට්ටු, තරඟ පාවාදීම්, සියල්ල පැමිණීම බලාපොරොත්තු විය යුතුය.

කිසිවෙකින් ආපසු හැරිය යුතු නැත. තරඟයේ පළමු කඩයිම දැවැන්ත ලකුණු සටහන් කරමින් ජය ගතයුතුව ඇත. එම ලකුණු ඉදිරි කඩයිම් ජයගැනීමට ඉතිරි කර ගතයුතුවද ඇත.

“පොහොට්ටුව වෙනුවෙන් කැපවිය යුතු වන්නේ, තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් පිදෙන පදක්කම වෙන්දේසි කරන මුදලාලිලාට නොවන බව අප අවභෝධ කරගත යුතුය.”

– අභීත එදිරිසිංහ