සොබා සුන්දරත්වය වනසන තවත් අලි ජාවාරමක් හෙළිවෙයි!

ශ්‍රී ලංකාවටම අභිමානයක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්ථි රාජයා ඇත් දළ දඩයම්කරුවන් විසින් ඝාතනය කිරීම ඉකුත් දිනවල අතිශය කතාබහට ලක් වුණා. මේ අතර මිනිසුන් ඇටවූ උගුල් වලට හසුවී මිය ගිය අලි ඇතුන් පිළිබදවද නිරන්තරයෙන් පුවත් වාර්තා වුණා. ශ්‍රී ලංකාවේ අලි ගහනයට මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙලෙසින් තර්ජණ එල්ල වෙද්දි මෙරට අලි ඇතුන් සම්බන්ධ තවත් ජාවාරමක් පිළිබදව වාර්තා වෙනවා. ඒ මවු ඇතින්නන්ගෙන් කුඩා අලි පැටවු වෙන් කරවාගෙන, එම අලි පැටවුන් මුහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදවයි.

මෙම ජාවාරම පිළිබදව හෙළි කරමින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා‍යි. මෙලෙසින් අලි පැටවුන් මහුදු මාර්ගයෙන් හොර රහසේ ඩුබායි අබුඩාබි ඇතුළු මැද පෙරදිග රටවලට යැවීමේ ජාවාරමක් පිළිබදව තමන්ට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර තිබුණා.

හම්බන්තොට වෙරළ තීරයෙන් අලි පැටවුන් තිදෙනකු පසුගියදා සොයා ගැනීමට හැකිවූ බවත් මෙම අලි පැටවුන් තිදෙනා මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන යෑමට සූදානමක් තිබූ බවට සැකකරන බවත් මේ පිළිබදව හෙළි කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

වෙරළේ සිට බෝට්ටු මාර්ගයෙන් මෙම අලි පැටවුන් මුහුදේ යන නැව්වලට පැටවීමේ සූදානමක් තිබෙන්නට ඇති බවත් කාලයක සිට මෙසේ මැද පෙරදිග රටවලට අලි පැටවුන් හොර රහසේ පැටවීමේ ජාවාරමක් සිදුවන්නට ඇති බවත් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

මෙම අලි පැටවුන් තිදෙනාගේ මවු ඇතින්නන් සොයා මේ වන විට හම්බන්තොට හා ඒ අවට ප්‍රදේශවල ආරක්‍ෂක අංශ හා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

මුහුදු මාර්ගයෙන් අලි පැටවුන් රැගෙන යෑමේ ජාවාරම ගැන නාවික හමුදාවටත්, ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‍ෂක අංශවලටත්, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද දැඩි අවධානයකින් සිටින ලෙස උපදෙස් ලබාදී තිබෙන බව ද සදහන්.