හම්බන්තොට වරාය චීනයට..! ඩොලර් මිලියන 300 මුදල ලබන 9 වෙනිදා ශ්‍රී ලංකාවට…

හම්බන්තොට වරාය පසුගිය කාලයේ රටේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුනේ එය චීනයට විකුණන බවට පල වූ අදහස් සමගයි. කෙසේ වෙතත් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව එළඹෙන දෙසැම්බර් 09 වෙනිදා අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව සඳහන් වෙනවා.

හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 වෙනිදා අත්සන් තැබුවා.

එම ගිවිසුමට අනුව HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85% ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වන බවයි රජය පවසන්නේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58% ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42% ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙනවා.

හම්බන්තොට වරාය 99 අවුරුදු බද්දට ගැනීම සඳහා අදාළ චීන සමාගම ඩොලර් බිලියන 1.1ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබෙනවා. එහි මූලික ගෙවීම වන වන ඩොලර් මිලියන 300 මුදල ලබන 9 වෙනිදා ශ්‍රී ලංකාවට ලැබෙන අතර තවත් ඩොලර් මිලියන 100 ක මුදලක් ජනවාරි මාසයේදීත් ඉතිරිය මාස 6ක් ඇතුළදීත් ලංකාවට ලැබෙනු ඇති බවයි වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසන්නේ.

– BBC ඇසුරිනි –