සර්පයන් මදිවට මඩකළපු මුහුදට කිඹුල්ලුත් ඇවිත් – ස්වාභාවික ව්‍යසනයක පෙර නිමිත්තක්ද..?

මඩකළපුව – නාවලඩිය ප්‍රදේශයේ ධීවර දැල්වලට මුහුදු සර්පයන් විශාල වශයෙන් හසු වූයේ එම ප්‍රදේශයේ මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා බව නාරා ආයතනය පවසයි. සුනාමියක් පිළිබඳව හෝ වෙනත් කාලගුණ විපර්යාසයක් පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස එම ආයතනය ජනතාවට දැනුම් දෙයි.

ආඳන් විශේෂයක්‌ බවට හඳුනා ගත් බවත් ආඳන් හමුවීම යම් අනතුරක පෙර නිමිත්තක්‌ නොවන බවත් නාරා ආයතනයේ සමුද්‍ර ජීවී විද්‍යා අංශයේ අංශ ප්‍රධානී විද්‍යාඥ ආචාර්ය සිසිර සපුතන්ත්‍රි මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.

මෙම ආඳන් (Snake eel) ලෙස හඳුන්වන අතර කෑමට නොගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම මත්ස්‍ය විශේෂය විශාල වශයෙන් හසුවීම නිසා සමාජයේ යම් සැක සංකාවක්‌ මතුව තිබූ බවත් උන් මෙලෙස විශාල වශයෙන් සංක්‍රමණය වන්නේ බිත්තර දැමීමට විය හැකි බවත් කියා සිටියේය.

මෙම මත්ස්‍ය විශේෂය මීට පෙරද මේ මුහදු කලාපයෙන් හමුවී ඇතැයි පැවසූ හෙතෙම මෙතරම් විශාල ප්‍රමාණයක්‌ හමුවූ ප්‍රථම අවස්‌ථාව මෙය බවද වැඩිදුරටත් පැවැසීය.

මේ අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ අධික ලෙස පවතින වර්ෂාව හේතුවෙන් ගංවතුර රැඳී පවතින නිසා මෝය කපා ඇත. මේ මඟින් කිඹුලන් මුහුදට පැමිණෙන නිසා මඩකළපුව දිස්ත්‍රික් මුහුදේ කිඹුලන් වැඩි වී ඇත.

ඊයේ උදේ කාත්තන්කුඩි මුහුදේ හැසිරුණු කිඹුලන් නිසා මුහුදට පැමිණෙන ජනතාව හා ධීවර ජනයාත් බියට පත්ව ඇත. මේ කිඹුලන් වෙරළට නොපැමිණ මුහුදේම සිටිනු දක්නට ඇත.

කිඹුලන් දැක ගැනීමට විශාල ජනතාවක් හා සිසුන් මුහුදට පැමිණීම දක්නට ලැබේ.