සුජීව සේනසිංහගේ සරම ගැලවෙන ලිපිය මෙන්න..

    යුගයේ පිනට පහල වූ මහා ගත්කතුවර සුජීව සේනසිංහයාණනි,

    පත්තර පුරා ටීවී පුරා ෆේස්බුක් එක පුරා ඔබ සිටිනු දැක මගේ හිතටත් පුංචි ආඩම්භරයක් ආවේය. ඒ අන් කිසිත් නිසා නොව ‘බදුම්කරේ ඇත්ත නැත්ත’ යනුවෙන් ඔබ රචනාකළ පොත එක එකාගේ බලුකතා මැද ඩිෆෙන්ඩ් කල පාඨකයෙක් ලෙස අවසානයේ සත්‍ය ජයගෙන ඇතිබව දුටු නිසාය.

    ඔබ ඒ පොත ලියු වේගය දුටු මා කී පළමු අනාවැකියනම් සන්නස්ගලලා වැනි ලේකඛයන් පවා ලේඛන කලාවෙන් සමුගෙන ඔබටම පොත් ලිවිල්ල බාරදී දේශපාලනයට ෆුල්ටයිම් එනබවය. දෙවනියට සැබෑ වූ අනාවැකියනම් එම පොත ත්‍රාසජනක කතාවක්ද, අද්භූත කතාවක්ද, යොවුන් කතාවක්ද, කෙටිකතා එකතුවක්ද නැත්නම් ප්‍රේමකතාවක්ද යනුවෙන් පාඨකයෝ නැගු ප්‍රශ්නයට කාලයා විසින් පිළිතුරු ලබාදෙන බවය. කාලයා කෙසේවෙතත් ඉන්ස්පෙක්ටර් යසන්ත නම් CID හාදයා සොයාගත් පරිදි ‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ යනු ‘යොවුන් ප්‍රේම කතාවක්’ බව දැන් රටම දන්නා කරුණකි. පොත ලියන කාලේ හැමදාම රැට ඔබතුමා ඇලෝසියස් නම් යෞවනයා සමග කඩා ඇති මල් තොගය ඊට ඇති කදිම සාක්ෂියයි. මෙය ‘අසම්මත ආදර කතාවකැයි’ කට කැඩිච්ච එවුන් කීවත් කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ සමග කරට කර සිටින ලෙස ‘කතා කරන හදවතින්’ ඔබ ලියු මේ ආදර කෘතියට අද ජනතා සම්මානය හම්බවෙලා හමාරය.

    කැම්පස් වල කොල්ලෝ අහන්නේ සුජීව අයියාගේ ජාතියේ කපල් සිම් අපට තහනම්ද කියාය. ආරංචියේ හැටියට ඩයලොග් එක අලුතින්ම ලෝන්ච් කරන මල් පැකේජ් එකේ නම ‘සුජි-ඇලෝ’ ය. ප්‍රේමය මල් කඩන විට සුන්දරය. තෑගිබෝගද ඇති තරම්ය. හැබැයි ඒවා ගමේ එවුන්ට ලීක්වුන විට කැලෑ පත්තරය. නමුත් කැලෑ පත්තරය එන්නටත් කලින් පොතක්ම ලියා පලකළ නිසා අද ඔබ නිකම්ම නිකම් ලේකඛයෙක් පමණක් නොව ෆෝන් කෝල් වලින් රිසච් කර තීසිසයක් ලියූ පඩිවරයෙක් බවට සමාජයේ මතයක්ද ඇත. මේ පොත් පිංච අතිරේක කියවීම් පොතක් ලෙස ඕ ලෙවල් සිලබස් එකට ඔබන්නැයි කියා හැන්දෑවක අඩියක් දමන විට අකිල ලොක්කාට යෝජනා කලොත් එතුමා ඒක අහක නොදමන බව මගේ විශ්වාසයයි. පොතක් ලියන්නට පැනකටත් කලින් අතට ගත යුත්තේ ෆෝන් එකක් බව නව පරපුරේ ලේකඛයෝ දැන් දනිති. ශන්ග්රිලා හෝටලය විවෘත කිරීමට කොලබට ආ ජැකොලින් චිෆ් ගෙස්ට් මයිත්‍රී ජනපතිට කියා තිබුනේ ‘මතු භාවයේ -මේ ලක් බිමේ – සුජිගේ අතැගිලි වල රැදුණු පෑනක් ලෙස වුව ඉපදුනාට කම්නැත’ කියාය.

    සුජීව ප්‍රසන්නාරච්චිලා පවා කොර කරවූ අපේ කාලයේ ලේකඛයාණනි, ඔබ සංවේදී මිනිසෙක් නිසා තරහ යන බව ටිවි බලන අපි හැමෝම දැන් දනිමු. නිකන් ඉන්නා වෙලාවට පොලිස්පතිතුමාගේ භාවනා පන්තියට ගියානම් හිත එකලාසයක් කරන් SAITAM ගැන පොතක් ලියා විජේසුරිය ග්‍රන්ථ කේන්ද්‍රය හරහා සමාජගත කරන්නට තිබුණි. දොස්තර නෙවිල්ට කෝල් එකක් දෙකක් දී වැඩි විස්තර හොයාගන්නා හැටි අපි ඔබට අලුතින් කියාදිය යුතු නැත.

    ඉතින්, අසම්මත ප්‍රේමයේ ගත් කතුවරයාණනි, ‘සත්‍ය අකුරු කිරීමටත්’ ‘අකුරු අපාර්ට්මන්ට්’ කිරීමටත් ‘ඔබේ දැතටත් ඒ දෑතට හිරවූ පුංචි නොකියා ෆෝන් එකටත්’ ගංගා මෑණියන්ගේම පිහිට ලැබේවා!

    සුජිවයි අපේ අනාගතේ! අර්ජුනයි සුජීවගේ අනාගතේ!!

    – මිලින්ද රාජපක්ෂ