මහින්ද කියන්නෙ, මෝඩම මෝඩ හොරෙක්, කාළකණ්ණි මිනීමරුවෙක්, ආර්ථික කාපාලුවෙක්..! අරුම පුදුම උපන්දින සුභ පැතුම මෙන්න…

    අපේ මහින්ද මහත්තයාගෙ ජන්ම දිනයට ගියවර ටොයි සිත් නොතලා…
    සුබ පතපු විදිහ මතකද… ඒක අදටත් වරදක් නෑ..

    නාමල්ගේ මුණුපුරාගේ මුණුපුරා දක්වා ප්‍රකෝටිපතියන් වෙන ගමන් සියළු බැරිකම්වලින් ගැලවිජ්ජා අවිය කර ගන්නත් තිබූ රන් බිජුලන යුද්ධ කිකිළිය මරා දැමූ ලෝකයේ මෝඩම මෝඩ ‘හොරා’ වූද…

    පොලිසිය සහ හමුදාව සමග ගැටී මියගිය රතුපස්වල කටුනායක තරුණයන් තුන් හතර දෙනා මෙන්ම බීමතින් තාප්පයක හැපී මියගිය තාජුදීන් වැනි ජාතික වීරයන් නිසා.. මිනී කඳු ගනිමින් ඊළග බෝම්බය එනකල් නොඉවසිලිමත්ව ‘ඩෙඩ් බොඩි’ වීමට නියමිතව සිට ජීවිතය ලද දහස් සංඛ්‍යාත ජනතාවක ගෙන්ම ‘කාළකන්නි මිනීමරුවා’ යැයි විරුදාවලියක් හිමිකර ගත්තා වූද…

    සුද්දගෙ යුගයේ සිට අඩසිය වසකටත් වැඩි කලක් එක තැන පල් වී ‘මයිනස් වෙමින්’ තිබූ ඩොලර් බිලියන 20 හි ලංකාවේ සොච්චම් ආර්ථිකය… අඩක්ම බිහිසුණු යුද්ධයක්ද සමග ගෙවුනු දශකයක් තුල ඩොලර් බිලියන 80 කටද නොනැවතී හතර ගුණයකින් ඔසවන්නට සමත් වූ අරුම පුදුම ‘ආර්ථික කාපාලුවා’ වූද…

    සුපුරුදු ලෙස තරගකාරී රටවලින් ලැබෙන කෝටි ගණන් සංතෝසම් සාක්කුවේ දමං පාඩුවේ නොහිට ඒ රටවල්ද හතුරන් කරගනිමින් මෙගා වරායන් 2ක් සාදවා රටවැසියන්ගෙන් කප්පරක් කුණු කථා සමග හොරා මාක් අලවා ගත් ‘පල් මෝඩයා’ වූද…

    සිංහල අන්තවාදීන් ගැසූ ‘තම්බියට xක දීමේ’ ලේබලයද.. මුස්ලිම් සහ ද්‍රවිඩ අන්තවාදීන් ගැසූ ‘සිංහල ජාතිවාදී’ ලේබලයද.. කේපී කරුණා පෙන්වා ගැසූ ‘දෙමළ ජාතිවාදී’ ලේබලයද යන ‘..ලේබල් තුනම එකවර අලවා ගත්..’ පෘතුවි තලයේ වසන අරුම පුදුම ‘ජාතිවාදියා’ වූද…

    අවුරුදු 2ක් නොව 6ක් ඡන්ද සිතියම ඇකිලූ උන් ලෝකයේ සුපිරි ම ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස සලකන උගත් බුද්ධිමත් රැඩිකල් තරුණ පරපුරක් හිමි රටක.. දෙවසරකට පෙර.. විධායක බලසම්පන්න තමන්ගේ පාලනයක් යටතේ ඡන්දයක් කර පරාජය වී ගෙදර ගිය ලෝක ඉතිහාසයේ එකම ‘මෘග ඒකාධිපතියා’ වූද….

    කුරුඳුවත්තේ ඉපිද බෙන්ස් රථයෙන් රෝයල් ගොස් ටයි කෝට් ගසා ඇංග්ලිකානුවෙකු නොවී ගොඩේ බෞද්ධයෙකු ලෙස බෙලිඅත්තේ නතර වූ නිසා ‘බයි ගං කබරයා’ වූද…

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී
    මැදමුලනේ මහින්ද රාජපක්ෂ මහත්තයාට
    සුබ උපන් දිනයක් වේවා..!!!

    – විශ්ව චින්තන