මහ ජනතාවගෙන් ඒකාබද්ධයට අත්‍යාවශ්‍ය සටහනක්…

අත්‍යාවශ්‍ය සටහනක්..,

පුංචි ඡන්දයේදී ඒකාබද්ධය තනිව තරඟ කල යුතුය යන බහුතර මතය අවභාවිතා කරමින් වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව හැගේ.. මේ ඒ ගැනය..

මේ මැතිවරණයේදී එජාප විරෝධී ඡන්ද ගොඩ බෙදා වෙන් කරන තරමට වාසිය අත්වන්නේ එජාපයටම බව තර්කයක් නැත.. මුළු රටටම බලපාන සහ කොට්ඨාශ මට්ටමේ පුංචි ඡන්දයට කොට්ඨාශයකදී ඡන්ද දෙතුන් සියයකට උවද විශාල බලපෑමක් කල හැකි බවද රහසක් නොවේ.

මේ අනුව මහින්දගේ ඒකාබද්ධයට එක් වී සිටින ශ්‍රීලනිප අති බහුතර පලුවත් සිරිසේනගේ විධායකය යටට ගොනු වී සිටින ශ්‍රීලනිප තීරුවත් එක කඳවුරකට ගොනු වීම මාරාන්තික වන්නේ එජාපයටම බවද තර්කයක් නැත.

නමුත් ගැටලුවක් ඇත.. එනම් සිරිසේන නැවත විශ්වාස කල හැකිදැයි යන්නයි. පිළිතුර නම් සිරිසේන විශ්වාස කරන්න අපිට මොංගල් නැත යන්නයි.

නමුත් එයින් සම්පූරණ දොරම වැසෙන්නේ නැත.. තවත් දොරක් ඇත.. එනම් සිරිසේනගේ බලය ඇති තැනට මහ මැතිවරණයේදී මහින්ද ගියා සේ මෙවර මහින්දගේ බලය ඇති තැනට සිරිසේනට එන්නට තිබෙන දොරයි.

ඒ අනුව ඊළඟ පුංචි ඡන්දයට මහින්දගේ අතේ 100%ක් බලය ඇති සන්ධානයක සිරිසේන පාර්ශවයට දොර හරිනවාට අපේ කිසිදු විරුද්ධත්වයක් නැත.

මේ ආකාරයේ සන්ධානයකට ඒකාබද්ධයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ බහුතරයද සිරිසේන පාර්ශවයේ පාර්ලිමෙන්තු කණ්ඩායමේ අති බහුතරයද එකඟ බවටද රාවයක් ඇත.. එසේම එවැනි එක්සත් ක්‍රියාමාර්ගයකට විවිධ පෞද්ගලික හේතු උඩ තවත් පිරිසක් විරුද්ධව කටයුතු කරන බවත් සැලයි.. පසුගිය කාලයේ නම් ගම් නැතිව විවිධ පාර්ශව නැගූ මැසිවිලි මේ බල අරගලයේ ප්‍රතිපල ලෙස බවත් සැලයි.

අවසන් වශයෙන් අවධාරණය කල යුත්තේ සිරිසේනට සිල්ලරට නැවත වරක් රැවටෙන්නට අප සූදානම් නැතත් මේ දේශද්‍රෝහී ආණ්ඩුව පරාජය කිරීම යනු දුර්වල සිරිසේන කණ්ඩායම වට කොට පරාජය කිරීම නොව එජාපය තීරණාත්මකව පරාජය කිරීම බව නොවැටහෙන තරම් අප අඳබාලයන් පිරිසක් නොවන බවයි.

එබැවින් ‘සිරිසේන විරෝධය’ අවභාවිතා කර වෙනත් න්‍යාය පත්‍ර පෝෂණය නොකර, රට සහ රටේ අනාගතය ඉලක්ක කරගත් පොදු එකඟතාවයකට පැමිණීමට මහින්ද මහත්තයාට සහය දෙන ලෙස ඒකාබද්ධයේ සියළුම කෙලිකරුවන්ගෙන් අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු..!!!

– විශ්ව චින්තන